Popular Post

Nilanthi


සොඳුරු යුග දිවියක් ඒ මගේ ප්‍රාර්ථනය - නිලන්ති
අලුත බැඳපු ජෝඩුවකගේ කැදැල්ලක දකින්න තිබෙන සතුට, පී‍්‍රතිය, සොම්නස ගැන අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැම ගැහැනියකගේම, පිරිමියෙකුගේම ජීවිතේ විවාහය නිසා අලුත් වෙනවා. මේ විදියට අලුත් වුණු යුවළකගේ ආදරණීය කැදැල්ලටයි අපි අද ඔබ කැඳවාගෙන යන්නට සිතුවේ.
ඇය අපේ සිනමාවේ ජනපි‍්‍රය තරුවක්. නිලන්ති ඩයස් කරුණාරත්න. චිත්‍රපට රැසකින් සහ ටෙලි නාට්‍ය රැසකින් අපේ පේ‍්‍රක්ෂකයන් හමු වූ ඇයගේ නව නිවහනේ තොරතුරුයි මේ. නිලන්තිගේ ආදරය දිනාගත් නිරෝෂන් සමඟ යුග දිවි ගමන් අරඹලා තාම අවුරුද්දක්වත් ගතවෙලා නෑ. මේ දෙදෙනා දැන් පදිංචිව සිටින්නේ තලවතුගොඩ. කලල්ගොඩ පාරේ වීර මාවතේය. මේ අලංකාර දෙමහල් නිවෙසේ නිලන්ති - නිරෝෂන් සමඟ නිලන්තිගේ මවුපියන්ද පදිංචිය.
නිලන්තිගේත් - නිරෝෂන්ගේත් දවස ඇරඹෙනුයේ උදේ පාන්දරින්ය. නිලන්ති කිව්වේ වේලාසනින් අවදි වෙන්නේ ඇගේ සැමියා නිරෝෂන් කියලයි.
සාමාන්‍යයෙන් මම උදෙන්ම අවදි වෙන කෙනෙක්. උදේ නැගිටලා මට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. ප්‍රධානම දේ තමයි වාහන සෝදන එක. ඒත් එක්කම ගාර්ඩ්න් එකේ වැඩ කටයුතුත් ඉටු වෙන්නේ මගේ අතින්. මිදුල අතු ගාන්නත් සමහර දවසට මම පුරුදුවෙලා ඉන්නවා.
සාමාන්‍යයෙන් නිලන්ති කරන්නේ අවදි වුණ ගමන්ම තේ පිළියෙල කිරීමයි. නිලන්ති මවුපියන් සමඟ වාසය කළත් මේ නිවෙසේ උයන පිහින කටයුතු ඉටුවෙන්නේ ඇගේ අතින්.
මම විවාහ වෙන්න ඉස්සර ඉඳන්ම උයන්න පිහන්න හොඳට පුරුදු පුහුණු වුණු කෙනෙක්. අම්මල එක්ක ඉන්න කොටත් සමහර දවසට මම තමයි උයන්නේ. ඒ හින්දා දැන් මට උයන එක ප්‍රශ්නයක් නොවෙයි.
නිරෝෂ් වැඩියෙන් කන්න කැමැති ගමේ කෑම. උදේට බොහෝ වෙලාවට අපි කොළ කැඳ හදනවා. කවුපි, මුං ඇට, කඩල වැනි දෙයක් තමයි බොහෝ වෙලාවට අපි උදේ කෑමට හදන්නේ.
නිලන්ති විවාහයෙන් පස්සෙ චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට දීර්ඝ වශයෙන් තවමත් සම්බන්ධ වී නෑ. නර්තන වැඩසටහන්, රූපවාහිනි වැඩසටහන් වැනි දිනයකින් දෙකකින් ඉවර වෙන වැඩ සටහනක් ඇරෙන්නට. එහෙම කියනකොට අපිට හිතුණා ඇගේ සැමියා නිලන්ති රඟපානවට අකැමැති ද දන්නෙත් නෑ කියලා.
නිලන්ති රඟපානවට මගේ කිසිම අකැමැත්තක් නෑ. මම එයා විවාහ කරගන්නකොට එයාගේ වෘත්තියේ ස්වභාවය ගැන හොඳින් අවබෝධ කරගෙනයි අපි දෙන්නා මේ ගමන යන්න එකතු වුණේ. මම දීර්ඝ කාලයක් රැකියාව කළේ විදේශගතවයි.
ඒ කාලයේත් මම අනිවාර්යයෙන්ම පුවත්පත් කියෙව්වා. චිත්‍රපට නැරැඹුවා. ඒ කාලේ ඉඳලම මම කලාවට උනන්දුයි. නිලන්තිට රඟපාන්න යන්න මම නම් එපා කියල නෑ. එයා ටිකක් නිදහසේ ඉන්න ඕන නිසා වෙන්නැති මේ ටිකේ වැඩ බාර ගත්තේ නැත්තේ.
නිරෝෂන් මං හිතන්නේ වැඩියෙන් කැමැති මගේ නැටුම්වලට. පසුගිය කාලේ නර්තන ප්‍රසංග කිහිපයකටම මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.
ඉස්සර අපේ අම්මා මාත් එක්ක ඇවිත් මම දිහා බලා ඉඳලා මගේ අඩුපාඩු කිව්වා වගේම දැන් නිරෝෂනුත් මගේ නැටුම් ගැන ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ඒකට මම කැමැතියි. එහෙම වුණාම මගේ අඩුපාඩු මට හදාගන්න පුළුවන්නේ.
නිලන්තිත් - නිරෝෂනුත් දෙදෙනාම වෘත්තීන් දෙකකින් මේ නිවෙසට මුදල් හරි හම්බ කරනවා ඒ වගේම තමයි මුදල් කළමනාකරණයටත් මේ දෙදෙනාම මැදිහත් වෙනවා. ජපානේ හිටපු පුරුද්දට නිරෝෂන් ටිකක් වියදමට බරයි කියලයි නිලන්ති කීවේ. ඒ හින්ද ඒ ගැන හිතලා බලලා ඒවා කළමනාකරණය කරන්න වෙලා තිබෙන්නේ නිලන්තිටයි.
ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ගේන්න මාර්කටින් යන්නේ මේ දෙන්නම එකතු වෙලයි. ඕන කරන දේවල් දන්නේ ඉතින් නිලන්ති තමයි. නිරෝෂන්ට ව්‍යාපාරික ජීවිතයක් වෙනම තිබුණට ඔහු ගෙදර දොර ජීවිතේටත් නිලන්තිට නිරතුරුව සහාය දෙන සැමියෙක් කියල අපිට හිතුණා.
නිලන්තිටත් තම ව්‍යාපාරික ජීවිතේගැන දැන් දැන් අවබෝධයක් තියනව කියලයි නිරෝෂන් කිව්වේ.
මම වාහන ව්‍යාපාර පැත්තට යොමුවෙලා දැන් අවුරුදු 15 ක් විතර ඇති. සාමාන්‍යයෙන් අපි වාහන හඳුන්වන්නේ කෝඩ් එකකින්. මේ අවුරුදු ගණනට මට මතක තියෙන්නෙත් කෝඩ් 100 ක් 150 ක් විතර. මේ දවස් ටිකට නිලන්ති දන්නවා කෝඩ්ස් 6 - 7 ක්ම. ඉස්සරහට එයා ඒක හොඳට ඩිවලොප් කර ගනියි.
නිලන්තිත් - නිරෝෂනුත් ආගමික සහජීවනයෙන් ජීවිතය ගෙන යන දෙදෙනෙක්. දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය තබන නිලන්ති භක්තිමත් කතෝලිකයෙක්. නිරෝෂන් හොඳ බෞද්ධයෙක්.
අපි දෙන්න අතර ආගම පිළිබඳ බේද නෑ. දෙන්නම පල්ලි යනවා. දෙන්නම පන්සල් යනවා. අපි දෙන්නට දෙන්න ආගම් දෙකට ගරු කරනවා.
අලුත් නිර්මාණ බාර නොගත්තත් ඉදිරියේදී නිලන්ති රංගනයට එක්වූ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ටෙනිසන් කුරේ ගේ තැන්ක් යූ බර්ටිසහ තවත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදී පැමිණිමට නියමිතයි.
නිරෝෂන් ගොඩාක් කැමැති කොමඩිචිත්‍රපටවලට. ඉස්සරහට විවේකය ලැබෙන පරිදි නිර්මාණ බාර අරගෙන කරනවා. කොහොමත් මම කලාවෙන් අයින් වෙන්නේ නෑ. නිරෝෂන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන නිසා ඉස්සරහට දිගටම කලාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම මගේ එකම ප්‍රාර්ථනය යහපත් සාමකාමී සොඳුරු යුග දිවියක්.
හේමාලි