Popular Post

Heshadi


අපේ සිනමාවේ අලුත්ම කතා නායිකාව ශේෂාද්‍රි
කිසිම දිනක ටෙලි නාට්‍යයක රඟපාන්නේ නැහැ
ඇය සුන්දර යුවතියකි. දඟකාරකමත්, අහිංසක බවත් අපූරුවට සංකලනය වූ රූප සෝබාවක් ඇති ඇය සැබෑවටම සුන්දරය.
ශේෂාද්‍රි . . . ඒ ඇගේ නමයි. බොලිවුඩ් සිනමාවේ ශේෂාද්‍රිටත් වඩා අපේ සිනමාවේ ශේෂාද්‍රි හුරුබුහුටිය.
ශේෂාද්‍රි ප්‍රියසාද් . . . සිංහල සිනමාවට පායන අලුත්ම තරුව දැන් මා ඉදිරියේ.
රංගනය ශේෂාද්‍රිට නුහුරු නුපුරුදු දෙයක් නොවන්නේ සිංහල සිනමාවේ ප්‍රවීණතම ශිල්පීන් පවා මෙහෙය වූ, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ දියණියක් ලෙසින් ඈ මෙලොව එළිය දකින්නට වූ නිසාවෙනි. දිනේෂ් ප්‍රියසාද්ගේ මද්දුම දෝණි ශේෂාද්‍රි චැලෙන්ජස්හි කතා නායිකාවයි.
මම සිනමාවට ගොඩාක් ආදරෙයි. මුලින්ම මම කැමරාවක් ඉදිරියේ පෙනී හිටියෙ මාලිනී ආන්ටිගේ අතේ ඉඳන්. ඒ තාත්තිගෙ අපායේ තත්පර අසූහාරදාහක්චිත්‍රපටයෙන්. එතකොට මට වයස මාස 5 යි. ඊට පස්සෙ තාත්තිගෙම කොලොම්පූර් ෆිල්ම් එකේ හිටියා.
හෙළ සිනමාවේ නිළි රැජින මාලිනියගේ සුරතේ හිඳ හා හා පුරා සිනමා කැමරාවක් ඉදිරියේ හිඳීන්නට ලැබීමම ඇය ලැබූ වාසනාවකි.
මට ඕන වුණේ මං කැමති වුණෙත් තාත්තිගෙ ෆිල්ම්වල විතරක් රඟපාන්න. උදය අන්කල් කියන්නෙ මං කැමතිම අධ්‍යක්ෂවරයෙක්. උදය අන්කල්ගෙ ෆිල්ම්ස් මං බලලා තිබුණා. ඉතින් උදය අන්කල් මට චැලෙන්ජස්වලට ආරාධනා කළහම තාත්තිත් කිව්වා යන්න කියලා. උදය අන්කල් වගේ කෙනෙක්ගෙ ෆිල්ම් එකකින් ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම ගැන සතුටුයි.
* චැලෙන්ජස් ෆිල්ම් එකේ ඔයා රඟපෑව පළමු දර්ශනය මතකද?
ම් . . . ඔව්. ඒක ෂූට් කළේ සරසවි බුක්ෂොප් එකේ, පුබුදු අයියත් එක්ක. මට දෙබස් කියන්න තිබ්බෙ නැහැ. මට තිබ්බෙ පොත් තෝරන්න. පුබුදු අයියා වැටෙනවා පොතුත් පෙරළගෙන. ඒක හරි ෆනී දෙයක් වුණා.
* කී සැරයක් ඒ දර්ශනය රූගත කළාද?
රිහසල්ස් 4 ක් 5 ක් වගේ කරලා, ටේක්ස් දෙකක් විතර ගත්තා. එකම සීන් එක ගොඩාක් සැරයක් ගන්න තරම් මම නාගන්නේ නැහැ.
ශේෂාද්‍රි ට කලාව හෝ කලා ශිල්පීන් නුහුරු අත්දැකීමක් නොවන නිසාම චැලෙන්ජස් චිත්‍රපටය ද ඇයට නුහුරු අත්දැකීමක් නොවන්නට ඇත.
ෆීල්ඩ් එකේ් හැමෝම වගේ මට හම්බ වෙලා තියෙනවා. දැන හැඳුනුම්කම් තියෙනවා. ඒ නිසා බයක් දැනුනෙ නැහැ. ඒත් රූපගත කරන්න ගියහම ප්‍රවීණ ශිල්පීන් එක්ක රඟපාද්දී පොඩි තිගැස්මක් නම් දැනුනා.
ශේෂාද්‍රි ගේ පියා දිනේෂ් ප්‍රියසාද්ගේ ඇද්දා ලණුව දැම්මා කොඩිය’, උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුවචිත්‍රපටවලද ප්‍රධාන චරිත රඟන්නේ ඇයයි. දිගින් දිගටම ඇයට ආරාධනා ලැබෙන ලකුණු අපට පෙනේ.
ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම තෝරා බේරා ගැනීමක් කරලා තමයි රඟපාන්නේ.
* ශේෂාද්‍රිගේ තෝරා බේරා ගැනීමට ලක් වෙන්නේ මොන වගේ කරුණුද?
පළවෙනිම දේ තමයි ස්ක්‍රිප්ට් එක. සමහර ස්ක්‍රිප්ට්වල කිසි ගැලපීමක් නැහැ. හොඳ තේමාවක් ආදර්ශයක් ඇති ස්ක්‍රිප්ට් එකකට මගේ් හිත යනවා. ඒ වගේම අධ්‍යක්ෂවරයා, පලපුරුදු, ප්‍රවීණ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්නයි වැඩි කැමැත්ත. ඒත් නවක අධ්‍යක්ෂවරයෙක්ගෙ නිර්මාණයකට වුනත් දායක වෙනවා ඔහු දක්ෂයෙක් නම්.

 * ශේෂාද්‍රි ගෙ වැඩිමහල් වගේම බාල සොහොයුරියත් රඟපානවා. ඔය තුන් දෙනාගෙන් වැඩි දක්ෂතාවයක් තියෙන්නෙ කාටද?
අපි තුන්දෙනාගෙන් නංගි තමයි දක්ෂ. එයා තාත්තිගෙ ඔන්න බබෝ ෆිල්ම් එකේ රඟපාන කොට වයස අවුරුදු 3 1/2 යි. දැන් ටෙලි නාට්‍යවලත් රඟපානවා. ඒ රඟපෑම් දිහා බලද්දි හිතෙනවා නංගි තමයි දක්ෂ කියලා.
චැලෙන්ජස් තුළින් රිදී තිරයේ අලුත්ම කතා නායිකාව වෙමින් ක්ෂේත්‍රයට පැමිණි ශේෂාද්‍රි කිසිදු දිනෙක ටෙලි නාට්‍යයක රඟ නොපාන බව පවසයි.
මම ෆිල්ම්ස්වලට තමයි කැමති. ටෙලි නාට්‍යවලින් නිතර පෙනුනහම, සිනමාවෙදි ලැබෙන වටිනාකම අඩුයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම කවදාවත් ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැහැ.
ඒ පිළිතුර ළඟ මට ඇගෙන් දෙයක් අහන්න හිතුනා.
ශේෂාද්‍රිගෙ කැමැත්ත තිබුණෙ ඔයාගෙ තාත්තාගේ ෆිල්ම්වල විතරක් රඟපාන්නනේ. නමුත් උදයකාන්ත වැනි ප්‍රවීණ, සාර්ථක අධ්‍යක්ෂවරයෙක්ගෙන් ලැබුණ ආරාධනාව නිසා ඒ අදහස වෙනස් වුනා. මොන යම් විදිහකින් ප්‍රවීණ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ චරිතයක් ටෙලි නාට්‍යයකින් ලැබුණොත්?
මේ වෙන කොටත් එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. එත් මගේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.
* ශේෂාද්‍රි ගේ ප්‍රියතම නළු නිළි යුවළ කවුද?
පරණ අයගෙන් නම් ගාමිණී අන්කල්ටයි, මාලිනී ඇන්ටිටයි කැමතියි. දැන් අයගෙන් රොෂාන් රණවන අයියටයි, නෙහාරා අක්කිටයි කැමතියි.
ශේෂාද්‍රි අප සමඟ කළ කතා බහ අවසානයේ ඇගේ කලා ජීවිතය වෙනුවෙන් උපකාර කළ අයට ස්තූති කරන්නත් අමතක කළේ නැහැ.
මම කතෝලික ආගමේ කෙනෙක්. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තියෙනවා. මේ හැමදේම ලැබුණේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා ලැබුණ දෙයක් කියලා. මුලින්ම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මගේ් තාත්ති, අම්මි වගේම අක්කයි, නංගියි මගේ රඟපෑම් වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. උදයකාන්ත වර්ණසූරිය අන්කල්ට තෑන්ක්ස් කරන්න ඕන මාව හොඳ චිත්‍රපටයකට තෝර ගත්තට. ඒ වගේම ශාන්ති ඇන්ටිට, උදය අන්කල්ට මං ගැන කියපු ඩොනල්ඩ් ජයන්ත, ජයනාත් ගුණවර්ධන, ශාන් පෙරේරා අන්කල්ලට වගේම මගේ රඟපෑම් සාර්ථකව කර ගන්න උදව් කරපු රොෂාන් අයියා, පුබුදු අයියා, සංගීතා අක්කි, ලකී අන්කල්, වසන්ති ඇන්ටිත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි. මේ වෙන කොට මට රසික රසිකාවියෝ පිරිසක් ඉන්නවා. මං වෙනුවෙන් දෙන ප්‍රතිචාරවලට එයාලටත් ස්තූ®ති කරන්න ඕන.