Popular Post

Piumi

මට තාම විසි එකයි

පියුමි පුරසිංහ


අද සතුටු සාමීචියට එක්වන්නී කුසලතා පූර්ණ යොවුන් රංගන ශිල්පිනී පියුමි පුරසිංහ ය. ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කීපයක්ම මේ දිනවල නාලිකා කීපයකම විකාශය වනු දැක ගත හැකිය. කලා ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලකින්ම චිත්‍රපට කීපයකටම දායක වීමේ අවස්ථාව ඇයට උදාවිය.

මොනවද මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කලා කටයුතු?

මේ දිනවල 'බොඳ මීදුම්' ටෙලි නාට්‍යයේ සහ පේ‍්‍රමකුමාර ජයවර්ධනගේ 'නවවෙනි කඩුල්ල' ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

ඔබේ උපන්දින උත්සවය පසුගිය දිනෙක ජයටම පැවැත්වුණා නේද?

ඔව්, ජනවාරි 20 වැනිදා මගේ 21 වැනි උපන් දිනය යෙදිල තිබුණා. 21 වැනි උපන් දිනය තරුණියකට සුවිශේෂ උපන් දිනයක්නෙ. ඒ නිසා ටිකක් ලොකුවට ඒ සාදය සූදානම් කළා. කලා ක්ෂේත්‍රයේ මගේ හිතවතුන් හිතවතියන් වගේම මගේ පවුලේ උදවිය නැදෑයින් එකතු කරගෙන උපන් දින උත්සවය ගත්තා. ඒක තිබුණේ ගල්කිස්සේ බීච් හවුස් එකේ. මට ආදරය කරන මගේ ළඟින් ඉන්න ගොඩක් දෙනෙක් එදා ආව. අපි හැමෝම විනෝද වුණා. එදා මට හරිම සතුටු දවසක්.

ඔබ කලා ක්ෂේත්‍රයට ආ හැටි සිහිපත් කළොත්...?

මම මුලින්ම රඟපෑවෙ 'නිලංජනා' ටෙලි නාට්‍යයේ. ඊට පසුව ටෙලි නාට්‍ය ගණනාවකම රඟපෑමේ අවස්ථාව මට උදාවුණා. 'වැඩ බැරි ටාසන් - 1,' සහ 'වැඩ බැරි ටාසන් - 2' චිත්‍රපටවලට මට ආරාධනා කළේ 'නිලංජනා' ටෙලි නාට්‍යයේ මගෙ රංගනය නිසයි. පසුව 'තුෂාරා' චිත්‍රපටයෙත් මම රඟපෑවා. ඊට පසුව දිගටම මම සම්බන්ධ වුණේ ටෙලි නාට්‍යවලට.

'බොඳ මීදුම්' ටෙලි නාට්‍යයේ ඔබ රඟපාන චරිතය ඔබ මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස් නේද?

ඇත්තෙන්ම ඔව්. මම මෙතෙක් රඟපාල තියෙන්නෙ නාගරික දඟකාර තරුණියන්ගේ චරිත. නමුත් 'බොඳ මීදුම්' ටෙලි නාට්‍යයේ මම කරන චරිතය අහිංසක ගැමි යුවතියකගේ චරිතයක්. මම ඉතාම ආශාවෙන් තමයි ඒ චරිතය බාර ගත්තේ. ඒ සඳහා මාව තෝරා ගැනීම ගැන 'බොඳ මීදුම්' අධ්‍යක්ෂ චන්දික විජේසේනට මම ස්තුතිවන්ත වෙනවා. මම ඉතාම ආසයි ගැමි චරිත රඟපාන්න. 'බොඳ මීදුම්' මගෙ රංගන දිවියේ එක්තරා කඩඉමක් කියල හිතෙනව.

'හිරුට හොරෙන්' ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

'හිරුට හොරෙන්' වෙනස්ම තේමාවක් සහිත ටෙලි නාට්‍යයක්. ඒකෙ මට කරන්න තියෙන්නෙ සුරංගනාවියකගෙ චරිතයක්. 'හිරුට හොරෙන්' ගොඩක් දෙනෙක් නරඹන බව මට ලැබෙන ප්‍රතිචාරවලින් පේනව.

මොනවද ඔබේ පවුලේ තොරතුරු?

මට ඉන්නෙ නංගි කෙනෙක්. මගෙ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මයි තාත්තයි නංගියි මමයි තමයි අපේ පවුල.

ඔබේ අනාගත සහකරු ගැන සඳහන් කරන්න කැමති ද?

එයා ව්‍යාපාරිකයෙක්. දැන්ම විවාහ වෙන්න නම් මගෙ අදහසක් නෑ . තවම මට අවුරුදු 21 ලැබුව විතරනෙ. තව අවුරුදු 4 කින් විතර අපේ විවාහය සිදු වේවි. විවාහයෙන් පසු මම රඟපෑමෙන් ඉවත්වෙනවා. මම රඟපානවට මගෙ ආදරවන්තයාගෙ වැඩි කැමැත්තක් නැහැ.

ඔබේ විවේකය ගතවෙන්නෙ කොහොමද?

රූපගත කිරීම් හෝ වෙනත් විශේෂ වැඩක් නැති වෙලාවට මම ගොඩක්ම කැමැති පවුලේ අය එක්ක කාලය ගත කරන්න. ඒ වගේම විවිධ රටවල නිපදවන ලද චිත්‍රපට නැරඹීමත් මගේ ප්‍රධානම විනෝදාංශයක්.

විලාසිතා පිළිබඳ ඔබේ මතය කුමක් ද?

විලාසිතා මගෙ ජීවිතයේ ප්‍රධානම අංගයක්. තරුණ වයසෙ අය විලාසිතා කිරීම වරදක් නැහැනෙ. තරුණ කාලෙ නැතිව මොන කාලෙ විලාසිතා කරන්න ද? හැබැයි අපි විලාසිතා කරන්න ඕන තැනට ගැළපෙන විදියට.

ආදරය ගැන ඔබට හිතෙන දේ...?

යමෙකු තව කෙනෙකුට ආදරය කරනවානම් ඒක අවබෝධයකින් යුතුවයි කරන්න ඕන. ඒ වගේම ආදරය සදාකල් පැවතීමට විශ්වාසය අවශ්‍යමයි. විශ්වාස තුළින් තමයි ආදරය නිසා දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම වැඩි වන්නේ.

ගාමිණී සුසන්ත

ඡායාරූපය - ඉන්දික මල්ලවආරච්චි